චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව සහ එරට රාජ්‍ය මණ්ඩලය නියෝජනය කරමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීනයේ සියලු ජනවාර්ගික කණ්ඩායම් වෙත මෙන්ම හොංකොං, මැකෞ, තායිවානය සහ ලොව පුරා විසිරී සිටින චීන ජාතිකයන් වෙත සිය උණුසුම් වසන්ත උත්සව සුබ පැතුම් පිරිනමා තිබේ. අද (14) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවති චීන නව වසර පිළිගැනීමේ නිල උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම සුබ පැතුම් එක් කළ අතර චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා එම අවස්ථාවේ මුලසුන හෙබවීය.
ගතවූ 2025 වසරේදී ජාත්‍යන්තර මෙන්ම දේශීය වශයෙන් පැවති අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද, සමස්ත චීන වැසියන්ගේ නොපසුබට කැපවීම මත රටේ ආර්ථික හා සමාජීය ඉලක්ක සාර්ථකව ජයගැනීමට හැකි වූ බව ජනාධිපතිවරයා එහිදී කෘතඥතා පූර්වකව සිහිපත් කළේය. 2026 වසර චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කර වසර 105ක් සපිරෙන ඓතිහාසික වසරක් වන අතරම, චීනයේ “15 වන පස්අවුරුදු සැලසුම” ආරම්භ වන වැදගත් කාලසීමාව ද සනිටුහන් කරන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
නවයුගයේ චීන මාදිලියේ සමාජවාදී චින්තනය පෙරටු කරගනිමින් ගුණාත්මක සංවර්ධනයක් සහ ස්ථාවර සමාජයක් ගොඩනැගීමට සියලු දෙනා එක්විය යුතු බව අවධාරණය කළ ෂී ජින්පිං මහතා, උදාවූ චීන සාම්ප්‍රදායික අශ්වයාගේ වසර තුළ චීන නවීකරණය කරා යන ගමනට ජනතාවගේ ඒකාබද්ධ ශක්තිය අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කළේය. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් දෙදහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවය විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශනවලින් ද සමන්විත විය.













