පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (පෙබරවාරි 15) පැවැත්වෙන තීරණාත්මක තරගය වෙනුවෙන් පෙර නොවූ විරූ දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. මෙම තරගයේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිසියේ දහසකට අධික නිලධාරීන් පිරිසක් යොදවා ඇති අතර, ඉන්දීය ‘රෝ’ (RAW) ඔත්තු සේවය, ඉන්දීය ආරක්ෂක අංශ මෙන්ම පාකිස්ථාන බුද්ධි අංශ නිලධාරීන් ද කොළඹට පැමිණ ඇති බව වාර්තා වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි උදයකුමාර වූට්ලර් මහතා සඳහන් කළේ, ආරක්ෂක හේතූන් මත ක්‍රීඩාංගණය තුළට හෙල්මට්, ගමන් මලු, ඩ්‍රෝන උපකරණ, මත්පැන් හෝ සංගීත භාණ්ඩ රැගෙන යාම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවයි. ප්‍රේක්ෂකයන් සියලු දෙනා දැඩි පරීක්ෂාවකට ලක් කරන අතර, ක්‍රීඩාංගණය අවට සාමකාමී නොවන අන්දමින් හැසිරෙන පිරිස්වලට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
අතිවිශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණීම හේතුවෙන් අද පස්වරු 3:00 සිට ක්‍රීඩාංගණයේ දොරටු විවෘත කරන අතර, තරගය ආරම්භ වීමට පැය 4කට පෙර පැමිණෙන ලෙස පොලිසිය දැනුම් දෙයි. රථවාහන පාලනය සඳහා නිලධාරීන් 400ක් යොදවා ඇති අතර, මැටිපාක්, සෙබස්තියන් ඇළ සහ දුම්රිය දෙපාර්තමේන්තු රථගාල් ඒ වෙනුවෙන් වෙන් කර තිබේ.














