ශ්‍රී ලංකාවේ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන 18න් 14ක් කළමනාකරණය කිරීම සඳහා “වගකීමෙන් සීමිත සමාගමක්” පිහිටුවීමට රජය තීරණය කර ඇත. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව මෙම නව සමාගම ස්ථාපිත කෙරෙන අතර, දඹුල්ලේ පිහිටි උෂ්ණත්ව පාලිත ශීතාගාරය ද මෙම නව සමාගම යටතට පැවරීමට නියමිතය. මෙම නව ප්‍රතිසංස්කරණය යටතේ ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන යන ඉඩම් වසර 33කට බදු දීමටත්, එම ඉඩම් උකස් කර ණය ලබාගැනීමේ අයිතිය සමාගමට පැවරීමටත් යෝජනා වී තිබීම විශේෂත්වයකි. කෙසේ වෙතත්, මැනිං වෙළෙඳපොළ සහ මැණික්කුඹුර වෙළෙඳපොළ මෙම නව යාන්ත්‍රණයට ඇතුළත් කර නැත. මෙම තීරණය සම්බන්ධයෙන් ගොවි සහ වෙළෙඳ සංවිධාන දැඩි සැකයක් පළ කරන අතර, විශේෂයෙන්ම ශීතාගාර පද්ධතිය සහ ආර්ථික මධ්‍යස්ථාන පාලනය එකම සමාගමක් යටතට පත්වීමෙන් අනාගතයේදී එළවළු ආනයනය කර බෙදාහැරීමේ අවදානමක් පවතින බව ඔවුහු පෙන්වා දෙති. වසර 26ක් පුරා රජයට බරක් නොවී ලාභ ලැබූ ආර්ථික මධ්‍යස්ථානවල භාරකාර ගිණුම්වල රුපියල් මිලියන 1411කට අධික මුදලක් ඉතිරිව පවතින පසුබිමක, මෙම නව සමාගම්කරණයට එරෙහිව ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ගවලට ද අවතීර්ණ වී ඇත.














