දකුණු කොරියාවේ රැකියා සිහිනය දකිමින් වසර දෙකක් තිස්සේ පොරොත්තු ලේඛනවල රැඳී සිටින මෙරට තරුණ තරුණියන් දහස් ගණනක් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිති. 2023 වසරේදී කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සහ අනෙකුත් පරීක්ෂණ ඉහළින්ම සමත් වූ අයැදුම්කරුවන් 3,000කට ආසන්න පිරිසකගේ නම්, රැකියා ගිවිසුම් නොලැබීම හේතුවෙන් දිනෙන් දින කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ (HRD) නිල වෙබ් අඩවියෙන් ඉවත් වෙමින් පවතී. සාමාන්‍යයෙන් වෙබ් අඩවියට ඇතුළත් වී වසර දෙකක් ඇතුළත රැකියා ගිවිසුමක් හිමි නොවුණහොත් එම අයැදුම්කරුවන්ගේ සුදුසුකම් අහෝසි වන අතර, ඔවුන්ට නැවත වරක් මුදල් ගෙවා විභාගයට පෙනී සිටීමට සිදු වේ. මේ වන විට දිනකට අයැදුම්කරුවන් සිව් පස් දෙනෙකු බැගින් මෙම ලේඛනයෙන් ඉවත් වන බවත්, වසර අවසානය වන විට 2,500ක පමණ පිරිසකට සිය අවස්ථාව අහිමි වීමේ අවදානමක් පවතින බවත් වාර්තා වේ. පෞද්ගලික රෝහල්වලින් දෙවරක් වෛද්‍ය පරීක්ෂණ සිදු කරමින් සහ රැකියා පවා අතහරිමින් මෙම අවස්ථාව වෙනුවෙන් කැප වූ තරුණයින් පවසන්නේ, රජය විභාග පවත්වා වෙබ් අඩවිය පිරවීමට පමණක් උනන්දු වන බවයි. සියලු සුදුසුකම් සපුරා තිබියදීත් මෙලෙස රැකියා අවස්ථා අහිමි වීම සම්බන්ධයෙන් බලධාරීන් කඩිනම් මැදිහත්වීමක් සිදු කළ යුතු බව අගතියට පත් තරුණ ප්‍රජාව දැඩිව අවධාරණය කරති.














