පකිස්ථාන හිටපු අගමැති සහ හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පවතින දැඩි කනස්සල්ල හමුවේ ඔහුව බන්ධනාගාරයේ සිට රෝහලකට මාරු කිරීමට එරට රජය තීරණය කර තිබේ. රජයේ අමාත්‍ය තාරික් ෆසාල් චෞද්රි ප්‍රකාශ කළේ, ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා විශේෂ වෛද්‍ය මණ්ඩලයක් ද පිහිටුවන බවයි.
මාස කිහිපයක් තිස්සේ බන්ධනාගාරයේ හුදෙකලා සිරදඬුවම් විඳිමින් සිටින 73 හැවිරිදි ඉම්රාන් ඛාන්ගේ දකුණු ඇසෙහි පෙනීම සම්පූර්ණයෙන්ම වාගේ අහිමි වී ඇති බවට වාර්තා පළ වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇත. ඇසෙහි ඇති වූ ආසාදනයක් සඳහා නිසි ප්‍රතිකාර ලබා නොදීම හේතුවෙන් මෙලෙස පෙනීම අඩාල වී ඇති බව ඔහුගේ නීතිඥ කණ්ඩායම චෝදනා කරයි.
ඉම්රාන් ඛාන්ට වහාම නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලමින් පකිස්ථාන විපක්ෂය පාර්ලිමේන්තු සංකීර්ණය තුළ දෙවන දිනටත් සත්‍යග්‍රහයක නිරත වෙමින් සිටියි. එමෙන්ම වසීම් අක්‍රම්, වකාර් යුනිස් සහ ෂොයිබ් අක්තාර් වැනි හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් ද සිය හිටපු නායකයාට නිසි ප්‍රතිකාර ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා තිබේ. වකාර් යුනිස් සිය පණිවිඩයේ සඳහන් කර ඇත්තේ, දේශපාලනය පසෙක තබා රටට කීර්තියක් ගෙන ආ ක්‍රීඩා වීරයෙකු ලෙස ඔහුට සැලකිය යුතු බවයි.














