2025 (2026) වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන පෙබරවාරි 17 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයින පුරා මධ්‍යස්ථාන 3,545 කදී පැවැත්වෙන මෙම විභාගයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගෙන ඇති අතර, ආපදා තත්ත්වයන්හිදී සිසුන්ට සහාය වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද සීරුවෙන් තබා ඇත. විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළේ මෑතකදී ඇති වූ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් හැඳුනුම්පත් අහිමි වූ සිසුන්ට, ග්‍රාම නිලධාරී හෝ විදුහල්පති විසින් සහතික කරන ලද තාවකාලික ලේඛනයක් විභාග මධ්‍යස්ථානයට ඉදිරිපත් කළ හැකි බවයි. එමෙන්ම විභාගය අවසන් වී මාස තුනක් වැනි කෙටි කාලයකදී ප්‍රතිඵල නිකුත් කිරීමට ද දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.














