සිංහරාජ වන රක්ෂිතයේ අලි ඇතුන් ගමන් ගන්නා ප්‍රධානතම වන මංකඩක් වන බෝටියතැන්න ප්‍රදේශය රක්වාන ප්‍රදේශයේ ප්‍රබල ව්‍යාපාරිකයෙකු විසින් නැවත වරක් විනාශ කරමින් පවතින බව වාර්තා වේ. ඉළුබකන්දේ සිට හඳපාන් ඇල්ල ඔස්සේ දෙල්ලව – වළංකන්ද වනාන්තර පද්ධති දෙක යා කරන එකම සජීවී මංකඩ වන මෙහි අක්කර 10 ක පමණ භූමියක් බැකෝ යන්ත්‍ර යොදා එළිපෙහෙළි කර ගිනි තබමින් පවතින බව පරිසරවේදීහු පෙන්වා දෙති. මීට පෙරද ව්‍යාපාරිකයින් විසින් මෙම කලාපයේ අනවසර හෝටල් ඉදිකිරීම් සිදු කර ඇති අතර, එවකට මධ්‍යම පරිසර අධිකාරිය නිසි පියවර නොගැනීම හේතුවෙන් මෙම විනාශය තවදුරටත් වර්ධනය වී ඇත.
මෙම වන මංකඩ විනාශ වීම හේතුවෙන් සිංහරාජයට පමණක් ආවේණික වූ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සිංහරාජ පඳුරු මැඬියා සහ අර්ඩලන්ගේ අඟ කටුස්සා වැනි සුවිශේෂී උභයජීවී හා උරග විශේෂ 12 කට අධික සංඛ්‍යාවකගේ වාසස්ථාන අහිමි වීමේ අවදානමක් මතුව තිබේ. එපමණක් නොව, මෙම වන විනාශය හේතුවෙන් ප්‍රදේශයේ ජල උල්පත් සිඳී ගොස් හඳපාන් ඇල්ල පවා සම්පූර්ණයෙන් සිඳී යාමේ දරුණු ජල අර්බුදයකට රක්වාන සහ කලවාන වැසියන් මුහුණ දී සිටී. එබැවින් මෙම ඉඩම් කඩිනමින් පරිසර ආරක්ෂණ කලාපයක් හෝ අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.














