ඉන්දියාව රුසියානු තෙල් ආනයනය සීමා කිරීමට එකඟ වී ඇති බවට වොෂින්ටනය සිදුකරන ප්‍රකාශ හමුවේ, සිය රට තවමත් “උපායමාර්ගික ස්වාධීනත්වය” (Strategic Autonomy) ආරක්ෂා කරන බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් පවසයි. ජර්මනියේ පැවැත්වෙන 62 වැනි මියුනිච් ආරක්ෂක සමුළුවට (Munich Security Conference) එක්වෙමින් ඔහු අවධාරණය කළේ, බලශක්ති මිලදී ගැනීම් පිළිබඳ තීරණ ගනු ලබන්නේ වෙළඳපොළ පවතින හැකියාව, පිරිවැය සහ අවදානම් යන සාධක සලකා බැලීමෙන් පසුව මිස බාහිර බලපෑම් මත නොවන බවයි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දීය අපනයන මත පනවා තිබූ තීරුබදු 50% සිට 18% දක්වා අඩු කිරීමත් සමඟ ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම නතර කරන බවට ඇමෙරිකාව පවසන නමුත්, ඉන්දියාව ඒ සම්බන්ධයෙන් නිල තහවුරු කිරීමක් මෙතෙක් ලබා දී නැත. බටහිර මිත්‍ර පාර්ශවයන්ගේ අදහස් සමඟ සැමවිටම එකඟ නොවී, තමන්ට ආවේණික ස්වාධීන තීරණ ගැනීමේ අයිතිය ඉන්දියාව සතු බව ජයිශංකර් මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. මීට අමතරව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවය සහ යුරෝපා සංගමය සමඟ සබඳතා ශක්තිමත් කරගැනීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.














