2025 ජුනි 12 වැනි දින ඉන්දියාවේ අහමදාබාද් සිට ලන්ඩන් බලා පියාසර කරමින් තිබියදී කඩා වැටුණු එයාර් ඉන්දියා (Air India) සමාගමට අයත් AI-171 ගුවන් යානයේ අනතුරින් මියගිය පුද්ගලයින්ගේ පවුල් වෙත අවසන් වන්දි ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබේ. කෙසේ වෙතත්, මෙම වන්දි මුදල් ලබා ගැනීම සඳහා ගුවන් සමාගම විසින් අගතියට පත් පවුල් වෙත දැඩි කොන්දේසියක් පනවා ඇති බව වාර්තා වේ. එම කොන්දේසියට අනුව, වන්දි ලබා ගන්නා පවුල් අනාගතයේදී Air India සමාගමට, යානය නිෂ්පාදනය කළ බෝයිං සමාගමට හෝ රජයේ ආයතනවලට එරෙහිව ලොව කිසිදු අධිකරණයක නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බවට එකඟ වෙමින් ‘Discharge and Indemnity’ නීතිමය පෝරමයකට අත්සන් කළ යුතු වේ.
මෙම කොන්දේසිය යටතේ ඉන්දීය රුපියල් ලක්ෂ 25ක් දක්වා මුදලක් සහ අමතර දීමනා කිහිපයක් ලබා දීමට සමාගම යෝජනා කර ඇති අතර, මීට අමතරව සෑම පවුලකටම රුපියල් කෝටියක සැනසිලි දීමනාවක් ද හිමි වේ. එහෙත්, වින්දිත පවුල් 130ක් නියෝජනය කරන නීතිඥ කණ්ඩායම මෙම යෝජනාවට දැඩි විරෝධය පළ කර සිටින්නේ අනතුර සම්බන්ධයෙන් වන නිල පරීක්ෂණ මෙතෙක් අවසන් වී නොමැති පසුබිමක නඩු පැවරීමේ අයිතිය අත්හැරීමට බල කිරීම අසාධාරණ බව පවසමිනි. මේ අතර, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ද මෙම සිද්ධියට මැදිහත් වී ඇති අතර, විමර්ශන වාර්තාවක් සති 3ක් ඇතුළත ලබා දෙන ලෙස මධ්‍යම රජයට නියෝග කර තිබේ.














