කොළඹ ජින්තුපිටිය සහ කළුතර වස්කඩුව යන ප්‍රදේශවල ඊයේ රාත්‍රියේ සිදුවූ ද්විත්ව වෙඩි තැබීම් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් අටක් යොදවා ඇති බව පොලිස් මූලස්ථානය වාර්තා කරයි. මූලික විමර්ශනවලට අනුව හෙළි වී ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර පවතින දීර්ඝකාලීන මතභේදයක් මෙම ප්‍රහාරයන්ට මුල් වී ඇති බවයි. වස්කඩුව වාඩියමංකඩ ප්‍රදේශයේදී රාත්‍රී 7:45 ට පමණ වෙළඳසැලක් අසල රැඳී සිටි 32 හැවිරිදි පුද්ගලයෙකු ඉලක්ක කර යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවෙකු වෙඩි තබා ඇති අතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම සිදුවීමෙන් සුළු වේලාවකට පසුව, එනම් රාත්‍රී 8:15 ට පමණ කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ උඩු මහලක පිහිටි බාබර් සාප්පුවක් තුළට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනෙකු සිදු කළ වෙඩි තැබීමකින් 20 හැවිරිදි මන්නාරම පදිංචි තරුණයෙකු මියගොස් තවත් හතර දෙනෙකු බරපතල තුවාල ලබා ඇත. තුවාල ලැබූවන් අතර වයස අවුරුදු 19, 27 සහ 28 යන වයස්වල පසුවන සිලාවතුර, ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන යන ප්‍රදේශවල පදිංචිකරුවන් සිටින අතර ඔවුන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. මෙම අපරාධයන් සිදු කර පලාගිය සැකකරුවන් හඳුනා ගැනීම සඳහා ප්‍රදේශයේ සීසීටීවී දර්ශන සහ දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ පොලිස් කණ්ඩායම් පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇත.














