ඉන්ස්ටග්‍රෑම් හරහා ඇති කරගත් පෙම් සබඳතාවක් හේතුවෙන් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිට මධ්‍ය ප්‍රදේශ්හි බෝපාල් නුවරට පැමිණි තරුණියක ඝාතනය කර, ඇයගේ සිරුර ජල ටැංකියක බහා තිබියදී සොයාගෙන තිබේ. මහාරාෂ්ට්‍රයේ ගොන්ඩියා දිස්ත්‍රික්කයේ පදිංචි අෂ්රෆි හෙවත් සියියා (33) නමැති මෙම තරුණිය, බෝපාල්හි පදිංචි සමීර් නමැති විවාහක පුද්ගලයෙකු සමඟ වසරක පමණ කාලයක සිට මෙම සබඳතාව පවත්වා ඇත. මීට මාස තුනකට පෙර ඇය සමීර් සමඟ ජීවත්වීමට බෝපාල් වෙත පැමිණ ඇති අතර, එහිදී සමීර්ගේ බිරිඳ සහ සියියා අතර නිතර ආරවුල් හටගෙන ඇති බව වාර්තා වේ.
පසුගිය සඳුදා ඇතිවූ දැඩි බහින්බස්වීමකදී කෝපයට පත් සමීර් විසින් සියියාගේ ගෙල සිරකර ඝාතනය කර ඇති බවට පොලිසිය සැක කරයි. අනතුරුව සාක්ෂි විනාශ කිරීම සඳහා ඔහු සිය සහෝදරයා, මව සහ සොහොයුරියගේ සහාය ඇතිව සිරුර යකඩ පෙට්ටියක බහා නිවස අසල පිහිටි හිස් බිම් කොටසක ඇති ජල ටැංකියකට දමා තිබේ. අවට සෙල්ලම් කරමින් සිටි දරුවන් පිරිසකට දැනුණු දැඩි දුගඳක් හේතුවෙන් සිදුකළ පරීක්ෂාවකදී මෙම සිරුර සොයාගැනීමට හැකි විය. මේ වන විට ප්‍රධාන සැකකරු වන සමීර් ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහුට උදව් කළ ඔහුගේ මව, සහෝදරයා සහ සොහොයුරිය අත්අඩංගුවට ගෙන තිබේ.














