ශ්‍රී ලංකාව නියෝජනය කළ විශිෂ්ටතම මලල ක්‍රීඩකයෙකු වූ ජ්‍යෙෂ්ඨ ඔලිම්පික් ක්‍රීඩක කෝසල ප්‍රේමරාජා සහබන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 1949 වසරේ නොවැම්බර් 13 වන දින උපත ලැබූ සහබන්දු මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ සහ මාතර රාහුල විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර පාසල් අවදියේ සිටම මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ සුවිශේෂී දක්ෂතා ප්‍රකට කළේය. ඔහු 1980 වසරේ පැවති මොස්කව් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙරටට විශාල අභිමානයක් එක්කළ ජාතික වීරයෙකි.
සහබන්දු මහතාගේ ක්‍රීඩා දිවියේ ස්වර්ණමය මතකයන් අතර 1974 වසරේ ටෙහෙරානයේ පැවති ආසියානු ක්‍රීඩා උළෙල ප්‍රමුඛස්ථානයක් ගනී. එහිදී මීටර් 4×400 සහාය දිවීමේ තරගයෙන් නව ආසියානු වාර්තාවක් ද පිහිටුවමින් රන් පදක්කම දිනාගැනීමට ඔහු ප්‍රමුඛ දායකත්වයක් ලබා දුන්නේය. මීට අමතරව මීටර් 800 ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමට ද සමත් වූ ඔහු ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ජයග්‍රහණ රැසක් මෙරටට දිනාදුන් ක්‍රීඩකයෙකි. ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩා ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තැබූ සහබන්දු මහතාගේ වියෝව මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයට පිරිමැසිය නොහැකි පාඩුවකි.














