මීගමුව, පොරුතොට ඉස්සෝ වාඩිය සහ ලෙල්ලම ඇතුළු වෙළෙඳපොළ තුළ ලොකු ඉස්සන් කිලෝවක මිල රුපියල් 4,000 දක්වා අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මීට පෙර රුපියල් 1,800ත් 2,000ත් අතර මිලකට අලෙවි වූ ඉස්සන් කිලෝවක මිල මෙසේ දෙගුණයකින් ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පසුගියදා පැවති ‘දිට්වා’ සුළි කුණාටුව සමඟ ඇති වූ දරුණු ගංවතුර තත්ත්වයයි. මෙම ගංවතුර හේතුවෙන් ඉස්සන් වගා කොටු විනාශ වී අස්වැන්න ගසාගෙන යාම නිසා ඉස්සන් සැපයුම බරපතළ ලෙස සීමා වී ඇති අතර එම වගාවන් යථා තත්ත්වයට පත් වීමට තවත් වසරකට අධික කාලයක් ගතවනු ඇතැයි වගාකරුවෝ පවසති.
මිල මෙසේ අධික ලෙස ඉහළ යාම හේතුවෙන් සංචාරක හෝටල්, අවන්හල් සහ සාමාන්‍ය පාරිභෝගිකයන් ඉස්සන් මිලදී ගැනීමට මැළිකමක් දක්වන අතර මේ නිසා වෙළෙන්දෝ ද දැඩි අසීරුතාවට පත්ව සිටිති. ඉස්සන් මිලට සාපේක්ෂව පිළියෙල කළ ආහාරවල මිල ඉහළ දැමීමට නොහැකි වීම නිසා හෝටල් හිමියන් සිය ව්‍යාපාර පවත්වාගෙන යාමේ අර්බුදයකට මුහුණ දී සිටින අතර බොහෝ ගැනුම්කරුවන් මිල අසා මිලදී නොගෙනම හැරී යන බව වාර්තා වේ. කෙසේ වෙතත් මේ දිනවල මීගමුව වෙළෙඳපොළ තුළ දැල්ලන් කිලෝවක් රුපියල් 1,200ත් 1,500ත් අතර සාමාන්‍ය මිලකට ලබාගත හැකි බව වෙළෙන්දෝ වැඩිදුරටත් සඳහන් කරති.














