ලොව ප්‍රමුඛතම දරාගැනීමේ ක්‍රීඩා අභියෝගයක් වන IRONMAN 70.3 තරඟාවලිය නිල වශයෙන් යළිත් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ප්‍රකාශයට පත් කර තිබේ. කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පසුගිය බදාදා (11) පැවැති විශේෂ උත්සවයකදී මෙම තරඟාවලිය පිළිබඳ නිල දැනුම්දීම සිදු කෙරුණු අතර, මෙය “පෝට් සිටි කොළඹ” (Port City Colombo) අනුග්‍රහයෙන් පවත්වනු ලබන දැවැන්ත ක්‍රීඩා මංගල්‍යයකි. 2026 පෙබරවාරි 19 සිට 22 දක්වා පැවැත්වීමට නියමිත මෙම ට්‍රැප්ලෝන් තරඟාවලිය කොළඹ නගරයේ අනන්‍යතාවය ලෝකය හමුවේ වෙනස් කිරීමට සමත් වනු ඇතැයි සංවිධායකයෝ අපේක්ෂා කරති. මෙහි ප්‍රධාන ඉසව්ව පෙබරවාරි 22 වනදා පැවැත්වෙන අතර ඒ සඳහා රටවල් 49කට අධික සංඛ්‍යාවකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,000කට ආසන්න පිරිසක් සහභාගී වනු ඇත. මෙමගින් සිඩ්නි, නීස් සහ මස්කට් වැනි ලොව සුප්‍රකට නගර අතරට කොළඹ නගරය ද එක්වනු ඇත.
මෙම තරඟාවලිය හරහා ශ්‍රී ලංකාවට හිමිවන ආර්ථික වාසිය ඉතා ඉහළ අගයක් ගන්නා බව ද මෙහිදී අවධාරණය කෙරිණි. සාමාන්‍යයෙන් IRONMAN තරඟකරුවෙකු සිය පවුලේ පිරිස සමඟ දින පහකට වඩා වැඩි කාලයක් මෙරට රැඳී සිටින අතර, ඔවුන් සාමාන්‍ය සංචාරකයෙකුට වඩා 2.5 ගුණයක මුදලක් වැය කරන බව සංඛ්‍යාලේඛන මගින් තහවුරු වී තිබේ. සෙරන්ඩිබ් මල්ටිස්පෝර්ට් අධ්‍යක්ෂ රාජන් තනනායගම් මහතා පවසන්නේ මෙමගින් කොළඹ නගරය ක්‍රීඩකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ප්‍රියජනක ගමනාන්තයක් ලෙස ලෝකය හමුවේ ප්‍රදර්ශනය වන බවයි.












