2026 වසරේ අප්‍රේල් සිට ජුනි දක්වා වන දෙවැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු සියයට 13.56කින් ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට යෝජනා කර තිබේ. මෙම කාලසීමාව තුළ අපේක්ෂිත රුපියල් මිලියන 15,847ක මූල්‍ය හිඟය පියවා ගැනීම සඳහා මෙම ගාස්තු සංශෝධනය අත්‍යවශ්‍ය බව විදුලිබල මණ්ඩලය පෙන්වා දෙයි. විශ්‍රාම යන සේවකයින් සඳහා ගෙවිය යුතු රුපියල් මිලියන 1518ක මුදල සහ බලාගාර නඩත්තු කටයුතු සඳහා වැයවන පිරිවැය ද මෙම ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවට පදනම් වී ඇත.
වසරකට සිව් වතාවක් සිදුකරන ගාස්තු සංශෝධන ප්‍රතිපත්තිය යටතේ ඉදිරිපත් වූ මෙම යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට පෙර මහජන අදහස් විමසීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ. මීට පෙර ජනවාරි – මාර්තු කාර්තුව සඳහා ඉදිරිපත් කළ සියයට 11.57ක ගාස්තු වැඩිකිරීමේ යෝජනාවට කොමිසමේ අනුමැතිය හිමි නොවූ පසුබිමක, මෙම නව යෝජනාව ඉදිරිපත්වීම විශේෂත්වයකි.
මේ අතර, ගල් අඟුරු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් ඉදිරියේදී විදුලි උත්පාදන පිරිවැය තවදුරටත් ඉහළ යා හැකි බවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අනතුරු ඇඟවීමක් කර තිබේ. නොරොච්චෝලේ බලාගාරය පවත්වාගෙන යාමට අවශ්‍ය ගල් අඟුරු තොග ජූලි 31 වන විට අවසන් වීමට නියමිත අතර, නැවත ආනයනය කළ හැක්කේ සැප්තැම්බර් මැද භාගයේදීය. මෙම මාස එකහමාරක කාලය තුළ ඩීසල් බලාගාර මගින් විදුලිය නිපදවීමට සිදුවුවහොත්, ඒ ඒකකයකට රුපියල් 90ක් වැනි අධික පිරිවැයක් දැරීමට සිදුවන බවත්, එම බර ජනතාවට පැටවෙනු ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.














