වගා සහ දේපළ ආරක්ෂාව වෙනුවෙන් 1995 සිට 2024 දක්වා කාලය තුළ නිකුත් කරන ලද ගිනි අවි බලපත්‍ර 25,064කින් බලපත්‍ර 12,971ක් මේ වන විට අස්ථානගත වී ඇති බව වාර්තා වේ. දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් නිකුත් කරන ලද වාර්තා සංසන්දනය කිරීමේදී 2024 දෙසැම්බර් 31 වන විට මෙම විශාල පරතරය නිරීක්ෂණය වී තිබේ. මීට අමතරව නිකුත් කර ඇති බලපත්‍ර අතරින් 7,125ක් නියමිත කාලයට අලුත් කර නොමැති බව ද අනාවරණය වී ඇත.
තුවක්කු ආඥා පනත ප්‍රකාරව බලපත්‍රයක් නොමැතිව ගිනි අවි ළඟ තබා ගැනීම බරපතළ වරදක් වන අතර, මෙලෙස අතුරුදන් වූ බලපත්‍ර සහිත ගිනි අවි පාතාල කල්ලි හෝ වෙනත් සංවිධානාත්මක අපරාධකරුවන් අතට පත්වී ඇත්දැයි සොයා බැලීමට ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. පසුගිය දින කිහිපය තුළ රට පුරා සිදුවූ වෙඩි තැබීම් මාලාව හමුවේ මෙලෙස බලපත්‍ර සහිත තුවක්කු අස්ථානගත වීම ජාතික ආරක්ෂාවට එල්ල වූ බරපතළ තර්ජනයක් ලෙස ආරක්ෂක අංශ සලකනු ලබයි.














