ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් රුපියල් කෝටි 89ක වියදමින් ඉදිකළ මත්ස්‍ය අභිජනනාගාර පහෙන් තුනක්ම මේ වන විට අක්‍රිය මට්ටමේ පවතින බව වාර්තා වේ. මීට අමතරව, ජලජීවී වගා කටයුතු සඳහා රජයෙන් හෙක්ටයාර් 14කට අධික ඉඩම් ප්‍රමාණයක් පවරාගෙන තිබුණද, ඒවා මෙතෙක් කිසිදු ප්‍රයෝජනයකට ගෙන නොමැති බව විමර්ශන වාර්තාවලින් අනාවරණය වී තිබේ.
ධීවර අමාත්‍යාංශ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ අධිකාරියට නීත්‍යානුකූල හිමිකාරීත්වයක් නොමැති හෙක්ටයාර් 3,461ක භූමි ප්‍රමාණයක් සහිත ඉඩම් හතරක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් වැය කර ඇති බවයි. එහෙත් එම ඉඩම්වලද මෙතෙක් කිසිදු ව්‍යාපෘතියක් ආරම්භ කර නොමැති අතර, ඒ අනුව සිදුකළ මූලික වියදම් සියල්ලම අපතේ ගොස් ඇති බව පෙනී යයි. මෙම මූල්‍ය අක්‍රමිකතා සහ ව්‍යාපෘති කළමනාකරණයේ පවතින දුර්වලතා පිළිබඳව ඉදිරියේදී විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.















