මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MRIA) සමස්ත පද්ධතියක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් විවිධ සේවා කාණ්ඩ යටතේ නව “උනන්දුව ප්‍රකාශ කිරීමේ ලේඛන” (EOIs) කැඳවීමට වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර ඇත. වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කළේ, පෙර රජය විසින් මගී මෙහෙයුම් සඳහා පමණක් සීමා වී ආරම්භ කර තිබූ ආයෝජකයන් කැඳවීමේ ක්‍රියාවලිය අහෝසි කිරීමට පියවර ගන්නා බවයි.
ගුවන්තොටුපළ හුදකලා ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීම සාර්ථක නොවන බැවින්, එය ඒකාබද්ධ පද්ධතියක් ලෙස ගොඩනැගීම රජයේ නව ඉලක්කය වී තිබේ. ඒ අනුව නඩත්තු, අලුත්වැඩියා සහ පරීක්ෂාව (MRO), මගී මෙහෙයුම්, භාණ්ඩ ප්‍රවාහන සේවා (Cargo), හෝටල් සහ සංචාරක සේවා මෙන්ම පියාසර පුහුණු පාසල් (Flying Schools) වැනි පැහැදිලි සේවා කාණ්ඩ කිහිපයක් යටතේ නව ආයෝජකයන්ට අවස්ථාව හිමි වනු ඇත. මෙමගින් තනි ආයෝජකයෙකු වෙනුවට ක්ෂේත්‍ර කිහිපයක ප්‍රවීණ ආයෝජකයන් පිරිසක් ගුවන්තොටුපළ සහ ඒ අවට යටිතල පහසුකම් සංවර්ධනයට දායක කර ගැනීමට අපේක්ෂා කෙරේ.
මේ සම්බන්ධ නව කැබිනට් පත්‍රිකාව දැනටමත් ඉදිරිපත් කර ඇති අතර, ඉදිරි සති කිහිපය තුළ ඊට අනුමැතිය ලැබෙනු ඇතැයි රජය විශ්වාසය පළ කරයි. මෙම නව උනන්දුව ප්‍රකාශ කිරීමේ (EOI) ක්‍රියාවලියෙන් අනතුරුව යෝජනා කැඳවීමේ (RFP) අදියර ආරම්භ වීමට නියමිත අතර, සමස්ත ක්‍රියාවලිය අවසන් කර ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මාස 12ක පමණ කාලයක් ගතවනු ඇතැයි ගණන් බලා තිබේ. මත්තල ගුවන්තොටුපළ දැනට ලබන මාසික අලාභය අවම කර ගනිමින් එය ලාභ ලබන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම රජයේ අවසාන බලාපොරොත්තුවයි.














