විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැත්වෙන ඉන්දියා-පාකිස්තාන තරගය සම්බන්ධයෙන් ඉන්දීය විපක්ෂය මෝදි රජයට සිය දැඩි විරෝධය පළ කර සිටියි. විශේෂයෙන්ම කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී සුඛ්ජින්දර් සිං රන්ධාවා ප්‍රකාශ කර ඇත්තේ පාකිස්තානය යනු ඉන්දියාවේ සතුරෙකු බවත්, ඔවුන් සමඟ කිසිදු ගනුදෙනුවක් නොකළ යුතු බවත්ය. පාකිස්තානය ඉන්දියාවට එරෙහිව ‘ප්‍රොක්සි යුද්ධයක’ (Proxy War) නිරත වන බව දේශසීමා ප්‍රදේශ නියෝජනය කරන ජනතාව හොඳින්ම දන්නා බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
මෙම විවේචන එල්ල වී ඇත්තේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජයි ෂා ඉලක්ක කර ගනිමිනි. විපක්ෂය චෝදනා කරන්නේ මෙය ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයකට වඩා ජයි ෂාගේ අවශ්‍යතාව මත සිදුවන්නක් බවයි. දේශසීමාවේ පවතින උණුසුම්කාරී තත්ත්වය හමුවේ මෙවැනි ක්‍රිකට් තරග පැවැත්වීම මෝදි රජය විසින් අනුගමනය කරන ද්විත්ව ප්‍රතිපත්තියක් බවට විපක්ෂ මන්ත්‍රීවරුන් සිය මතය ප්‍රකාශ කර ඇත.














