2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ වඩාත්ම උණුසුම් තරගය වන ඉන්දියාව සහ පකිස්ථානය අතර ගැටුම අද (15) රාත්‍රියේ කොළඹදී පැවැත්වීමට නියමිත අතර එහි ආරක්ෂාව වෙනුවෙන් බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු 5,000කට අධික පොලිස් බලඇණියක් යෙදවීමට පියවර ගෙන තිබේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා විශේෂ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ තරගයට සහභාගී වන කණ්ඩායම් දෙක නවාතැන් ගෙන සිටින හෝටල් පරිශ්‍රයන් මෙන්ම ඔවුන් ක්‍රීඩාංගණය වෙත ගමන් ගන්නා මාර්ගයන්හි ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි. අද රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිත මෙම තීරණාත්මක තරගයේ ආරක්ෂක සහ රථවාහන කටයුතු මෙහෙයවීම සඳහා පොලිස් නිලධාරීන් 2,800ක්, පොලිස් විශේෂ කාර්ය බලකා (STF) නිලධාරීන් 300ක් සහ රථවාහන පොලිස් නිලධාරීන් 350ක් ඇතුළුව බුද්ධි අංශ සහ අනෙකුත් අංශ නියෝජනය කරමින් තවත් නිලධාරීන් 1,550ක් පමණ රාජකාරියේ යොදවා ඇත. අධික ප්‍රේක්ෂක පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් ක්‍රීඩාංගණය අවට මාර්ග පාලනය සඳහා විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.













