බංග්ලාදේශයේ පැවැති මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගත් බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) නායක තාරික් රහ්මාන් මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13ක නායකයින්ට නිල වශයෙන් ආරාධනා කර තිබේ. 2024 වසරේ ඇති වූ මහජන අරගලය හමුවේ ෂෙයික් හසීනා පාලනය බිඳ වැටීමෙන් පසුව පැවැත්වූ පළමු මැතිවරණය මෙය වන අතර, එහිදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අතිවිශාල බලයක් දිනා ගැනීමට තාරික් රහ්මාන් මහතා සමත් විය. මෙම ජයග්‍රහණය බංග්ලාදේශ දේශපාලනයේ නව පරිච්ඡේදයක ආරම්භය ලෙස සැලකේ.
මෙම ඓතිහාසික දිවුරුම් දීමේ අවස්ථාව සඳහා ඉන්දියාව, චීනය, පාකිස්ථානය, සෞදි අරාබිය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, මැලේසියාව, බෘෘනෙයි, නේපාලය, භූතානය සහ මාලදිවයින යන රටවල රාජ්‍ය නායකයින්ට ආරාධනා කර ඇති බව වාර්තා වේ. නව රජයේ අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීමට පෙර, තේරී පත්වූ නව මන්ත්‍රීවරුන් දිවුරුම් දීමේ කටයුතු ලබන අඟහරුවාදා සිදු කිරීමට නියමිතය. කලාපීය සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීමේ අරමුණින් මෙම ආරාධනා සිදු කර ඇති අතර, දකුණු ආසියාතික රටවල් රැසක නායකයින් මෙයට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














