අසල්වැසි පකිස්ථානය සහ ඉරානය විසින් ක්‍රියාත්මක කරනු ලබන දැඩි පිටුවහල් කිරීමේ ප්‍රතිපත්ති හේතුවෙන් ඇෆ්ගනිස්ථානය මේ වන විට පෙර නොවූ විරූ මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය (UNHCR) අනතුරු අඟවයි. 2023 ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා ඇෆ්ගනිස්ථානයට යළි පැමිණ ඇති මුළු සංක්‍රමණිකයන් සංඛ්‍යාව මිලියන 5.4ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ලොව ඕනෑම රටකට වසරක් තුළ පැමිණි වැඩිම සරණාගත සංඛ්‍යාව ලෙස වාර්තා වේ. පකිස්ථානය විසින් ලේඛන නොමැති විදේශිකයන් නෙරපා හැරීමේ වැඩපිළිවෙළ යටතේ දශක ගණනාවක් එහි ජීවත් වූ සහ එහිම උපත ලැබූ ඇෆ්ගනිස්ථානුවන් පවා බලහත්කාරයෙන් පිටුවහල් කිරීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත.
මෙම අර්බුදය තවත් දරුණු වී ඇත්තේ ඇෆ්ගනිස්ථානය මේ වන විට මුහුණ දී සිටින දැඩි ශීත කාලගුණය, ආර්ථික බිඳවැටීම සහ ස්වභාවික ව්‍යසනයන් හේතුවෙනි. යළි පැමිණෙන පවුල්වලින් 90%කට වඩා දිනකට ඩොලර් 5කට වඩා අඩු ආදායමකින් ජීවත් වන අතර, ඔවුන්ගෙන් බහුතරයකට ස්ථිර නිවාස හෝ රැකියා අවස්ථා නොමැත. විශේෂයෙන්ම තලේබාන් පාලනය යටතේ අධ්‍යාපනය සහ රැකියා අහිමි වී සිටින කාන්තාවන් සහ කුඩා ළමුන් මෙම තත්ත්වයෙන් වඩාත්ම පීඩාවට පත් පිරිස බව UNHCR පෙන්වා දෙයි. මෙම සරණාගතයන් පුනරුත්ථාපනය කිරීම සඳහා 2026 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 216ක ආධාර අවශ්‍ය වුවද, දැනට ලැබී ඇත්තේ ඉන් 8%ක් වැනි ඉතා සුළු ප්‍රතිශතයක් පමණි.













