ගල්අඟුරු නැව් පැමිණීමේ ප්‍රමාදයක් හේතුවෙන් එළඹෙන ජූලි මස අග සිට සැප්තැම්බර් මැද භාගය දක්වා ශ්‍රී ලංකාව දැඩි විදුලි අර්බුදයකට මුහුණ දෙනු ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (15) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. මෙම තත්ත්වය හමුවේ රට පුරා විදුලි කප්පාදුවක් සිදුකිරීමට හෝ විදුලි ඒකකයක මිල රුපියල් 90ක් දක්වා ඉහළ දැමීමට රජයට සිදුවනු ඇති බවත්, එමගින් විදුලි ගාස්තු සැලකිය යුතු ලෙස ඉහළ යාමේ අවදානමක් පවතින බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
දැනට පවතින ගල්අඟුරු තොග ප්‍රමාණවත් වන්නේ මේ වසරේ දින 212කට පමණක් බවත්, ඒ අනුව එළඹෙන ජූලි මස 31 වැනිදා වන විට එම තොග අවසන් වන බවත් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය. නිරිතදිග මෝසම් බලපෑම හේතුවෙන් සැප්තැම්බර් මැද භාගය වන තෙක් ගල්අඟුරු ගොඩබෑමට නොහැකි වීම නිසා නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය මාස එකහමාරක පමණ කාලයක් වසා දැමීමට සිදුවනු ඇති බව ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය. බාල වර්ගයේ ගල්අඟුරු නැව් නිසා සිදුවූ පාඩුව විදුලි ගාස්තු ඉහළ දැමීම හරහා ජනතාවගෙන් අයකර ගැනීමට රජය කටයුතු කරන බවට ද ඔහු මෙහිදී චෝදනා කළේය.














