රජයේ රෝහල්වල සැත්කම් සඳහා පවතින දිගු පොරොත්තු ලේඛන හේතුවෙන් රෝගීන් අවාසනාවන්ත ලෙස මියයාම වැළැක්වීම සඳහා ජනාධිපති අරමුදලේ ප්‍රතිපාදන යොදවා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කළේය. මහනුවරදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ හෘද, අක්ෂි සහ අස්ථි සැත්කම් සඳහා පවතින පෝලිම් අවසන් කිරීම ජනාධිපතිවරයාගේ සෘජු උපදෙස් මත සිදුකරන බවයි. මේ යටතේ දැනට රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ භාවිතයට නොගෙන පවතින ශල්‍යාගාර උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීමට සැලසුම් කර ඇති අතර එම සැත්කම් සඳහා දායක වන වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට ජනාධිපති අරමුදල මගින් ගෙවීම් සිදු කිරීමට නියමිතය.
ජනතාව ප්‍රතිකාර පෝලිම්වල සිටියදී මියයන තත්ත්වයක් තුළ ජනාධිපති අරමුදලේ මුදල් රඳවා තබා ගැනීම පලක් නොමැති බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇති බවත්, ඒ අනුව රෝගීන්ගේ ජීවිත රැකගැනීම සඳහා වන මෙම ක්‍රමවේදය මේ වන විට සකස් කරමින් පවතින බවත් අමාත්‍යවරයා පැවසීය. මෙම කෙටි කාලීන විසඳුමට අමතරව රෝහල්වල පරීක්ෂණ පහසුකම් ඉහළ නැංවීමේ දීර්ඝ කාලීන සැලසුමක් ද ක්‍රියාත්මක වේ. එහි එක් පියවරක් ලෙස මහනුවර ජාතික රෝහලේ එන්ජියෝග්‍රෑම් පරීක්ෂණ සඳහා පවතින එකම යන්ත්‍රයට අමතරව තවත් යන්ත්‍ර තුනක් මේ වසරේදී ලබා දීමට කටයුතු කරන බවත්, එමගින් පරීක්ෂණ ධාරිතාව සිව් ගුණයකින් වැඩි කළ හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, රට තුළ බෝ නොවන රෝග ශීඝ්‍රයෙන් වර්ධනය වීම හමුවේ යන්ත්‍ර සූත්‍ර වැඩි කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, රෝගී වීම වැළැක්වීමේ දැනුවත් කිරීමේ වැඩසටහන් ද මීට සමගාමීව ක්‍රියාත්මක කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














