ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ආධ්‍යාත්මික සබඳතාවන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ ඉහළ පෙළේ දූත පිරිසක් මහනුවර ඓතිහාසික මල්වතු – අස්ගිරි උභය මහා විහාරීය මහා නායක සහ අනුනායක ස්වාමින් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගත්හ. අතිපූජ්‍ය ශාර්ට්සේ කෙම්සුර් ජංචුප් චෝඩන් රින්පොවේ (Shartse Khensur Jangchup Choeden) නාහිමියන්ගේ නායකත්වයෙන් යුත් මෙම දූත පිරිසට ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මහා සංඝරත්නය අටනමක් ඇතුළත් වූහ.
ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ නියෝජ්‍ය මහලේකම් ආචාර්ය දමෙන්ද පෝරගේ මහතාගේ සංවිධානයෙන් සිදු වූ මෙම සංචාරයේදී, දූත පිරිස ප්‍රථමයෙන් අස්ගිරි මහා විහාරයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥාණරතන මාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්හ. අනතුරුව ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගත් උන්වහන්සේලා, මල්වතු මහා විහාරයේ අනුනායක ආචාර්ය දිඹුල්කුඹුරේ විමලධම්ම සහ ආචාර්ය නියංගොඩ විජිතසිරි යන නාහිමිවරුන් ද බැහැදැක දෙරට අතර පවතින ද්වීපාර්ශ්වික ආගමික සබඳතා පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත වූහ.














