පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබා දී තිබූ රුපියල් මිලියනයක සමූහ රක්ෂණාවරණය රුපියල් දෙලක්ෂ පනස් දහසක් දක්වා අඩු කිරීමට වත්මන් රජය පියවර ගෙන තිබේ. පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2025 වර්ෂයේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ මාස නවයක කාලය තුළ මන්ත්‍රීවරුන් 82 දෙනෙකු මෙම සමූහ රක්ෂණ ප්‍රතිලාභ ලබා ගෙන ඇති බව අනාවරණය වේ. මීට පෙර 2024 අගෝස්තු සිට 2025 ඔක්තෝබර් මුල දක්වා ක්‍රියාත්මක වූයේ රුපියල් ලක්ෂ දහයක රක්ෂණාවරණයකි.
අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව සිදුකළ මෙම සංශෝධනය 2025 ඔක්තෝබර් 09 වැනිදා සිට නිල වශයෙන් ක්‍රියාත්මක වන අතර, නව රක්ෂණාවරණය සඳහා ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය සමඟ ගිවිසුම්ගත වී ඇත. මහජන නියෝජිතයන් වෙනුවෙන් වැය කෙරෙන පිරිවැය සීමා කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව මෙම පියවර ගෙන ඇති බව පෙනී යයි. මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම පිළිබඳ සමාජය තුළ දැඩි කතාබහක් පවතින පසුබිමක මෙම තොරතුරු වාර්තා වීම විශේෂත්වයකි.














