පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ වඩාත් බලාපොරොත්තු සහගත ඉන්දු – පකිස්ථාන මහා සංග්‍රාමය හේතුවෙන් කොළඹ නගරය මේ වන විට නිල් සහ කොළ පැහැති ජර්සි හැඳගත් දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගෙන් පිරී පවතින අතර, එය මෙරට සංචාරක සහ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයට වාර්තාගත ආදායමක් උදාකර දී තිබේ. ගාලු මුවදොර පිහිටි සුඛෝපභෝගී හෝටල්වල සිට පිටකොටුවේ කාර්යබහුල වෙළඳපොළ දක්වා මුළු නගරයම උත්සවශ්‍රීයක් ගෙන ඇති අතර, හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවසන්නේ මෙය ශ්‍රී ලංකාවේ සංචාරක ඉතිහාසයේ සුවිශේෂී වාණිජමය ජයග්‍රහණයක් බවයි. විශේෂයෙන්ම කොළඹ ප්‍රධාන පෙළේ තරු පහේ හෝටල්වල කාමර ධාරිතාව සෙනසුරාදා රාත්‍රියේ සියයට සියයක මට්ටමකට පැමිණ ඇති අතර සාමාන්‍යයෙන් ඩොලර් 150ක් පමණ වන කාමරයක මිල මෙහිදී ඩොලර් 1,000 (රුපියල් ලක්ෂ 3කට අධික) දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.
මෙම ක්‍රිකට් උන්මාදය ගුවන් ගමන් ක්ෂේත්‍රයට ද දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර ඉන්දියාවේ දිල්ලි සහ මුම්බායි වැනි ප්‍රධාන නගරවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා සියල්ල දින කිහිපයකට පෙර සිටම පිරී පැවති බව වාර්තා වේ. අධික ඉල්ලුම හේතුවෙන් ගුවන් ටිකට්පත් මිල දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පෞද්ගලික ජෙට් යානා විශාල ප්‍රමාණයක් පැමිණ ඇති බව ද ගුවන් ගමන් දත්ත මගින් තහවුරු වී තිබේ. මීට අමතරව කොළඹ නගරයේ ප්‍රවාහන සේවා සපයන්නන් සහ සමරු තිළිණ අලෙවි කරන්නන් ද අතිවිශාල ලාභයක් ලබමින් සිටින අතර ක්‍රීඩා ලෝලීන් කොළඹ වෙරළ තීරය සහ නවීන නගර අලංකරණය පසුබිම් කරගනිමින් ඡායාරූප ගනිමින් සුහදව කාලය ගත කරන ආකාරය දැකගත හැකිය. ආර්ථික වශයෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටින ශ්‍රී ලංකාවට, මෙම ක්‍රිකට් තරගය ලකුණු සහ කඩුලු සටනකට එහා ගිය දැවැන්ත ගෝලීය අවධානයක් සහ මූල්‍යමය ශක්තියක් ලබා දී ඇති බව විචාරකයෝ පවසති.














