කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (15) රාත්‍රියේ පැවැත්වෙන 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තීරණාත්මක තරගය නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැමිණ සිටී. ජනාධිපතිවරයා සමඟ පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොහ්සින් නක්වි (Mohsin Naqvi) මහතා ද විශේෂ ප්‍රභූ මැදිරියේ සිට තරගය නරඹන අයුරු දැකගත හැකිය. ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන් ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටිති.
මෙම තරගයේදී කාසියේ වාසිය දිනූ පාකිස්ථාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ අතර, ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 175ක් රැස් කළේය. ඉන්දීය ඉනිම වෙනුවෙන් ඉෂාන් කිෂාන් පන්දු 40කදී ලකුණු 77ක් ලබාගනිමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අතර, පාකිස්ථානය වෙනුවෙන් පන්දු යැවීමේදී සයිම් අයියුබ් ලකුණු 25කට කඩුලු 3ක් දවා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන පාකිස්ථාන කණ්ඩායම මේ වන විට දැඩි පීඩනයකට ලක්ව සිටින අතර, පන්දුවාර 1ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 6ක් ලබා සිටියි.
මුලින් මෙම තරගය සඳහා පාකිස්ථානය සහභාගී වීම සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවයක් පැවති අතර, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇතුළු පාර්ශවයන් මැදිහත් වී සිදුකළ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලින් අනතුරුව පාකිස්ථානය තරගයට එක්වීමට තීරණය කළේය. පිරී ඉතිරී ගිය ක්‍රීඩාංගණයක් මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගය දේශීය මෙන්ම ජාත්‍යන්තර දේශපාලන හා ක්‍රීඩා බලධාරීන්ගේ දැඩි අවධානයට ලක්ව ඇති ඓතිහාසික අවස්ථාවක් බවට පත්ව තිබේ.













