2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ තීරණාත්මක තරගයක් ලෙස සැලකෙන ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර හමුව අද (16) පස්වරු 7:00ට මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
මෙම තරගය කණ්ඩායම් දෙකටම අතිශය තීරණාත්මක වන්නේ තරගාවලියේ සුපිරි අට වටය සඳහා සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු මෙහි ප්‍රතිඵලය මත රඳා පවතින බැවිනි. දැනට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජයග්‍රහණය කළහොත් ඔවුන්ගේ සුපිරි 8 වටයේ ඉඩකඩ තවදුරටත් තහවුරු වනු ඇත.
අනෙක් අතට, පසුගිය තරගයකදී සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ අනපේක්ෂිත පරාජයකට මුහුණ දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට තරගාවලියේ රැඳී සිටීම සඳහා මෙම තරගයේ ජයග්‍රහණය අනිවාර්ය වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන පරිදි, පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ ප්‍රවේශපත් සියල්ල මේ වන විටත් විකිණී අවසන් වී ඇති අතර අද රාත්‍රියේ උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දෙපිල අතර පවතින දත්තයන්ට අනුව, අවසන් වරට පල්ලෙකැලේදී පැවති විස්සයි-20 හමුවේදී දසුන් ශානකගේ ප්‍රහාරාත්මක ඉනිම හමුවේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය වාර්තා කර තිබීම සත්කාරක කණ්ඩායමට යම් මානසික වාසියක් වනු ඇත.














