හෙට දිනයේ ආරම්භ වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලුම අපේක්ෂකයින් විභාග කාලසටහන පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය අවධාරණය කරයි. විභාග කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය කියා සිටියේ, විභාගය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල පැතිර යන විවිධ කාලසටහන් පිළිබඳව විශ්වාසය නොතබන ලෙසයි.
විශේෂයෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ සහ නිල ෆේස්බුක් ගිණුමේ ප්‍රකාශයට පත් කර ඇති කාලසටහන පමණක් පරිශීලනය කරන ලෙස ඇය අපේක්ෂකයින්ගෙන් සහ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි. කාලසටහන පිළිබඳව ඇති වන යම් ගැටලුකාරී තත්ත්වයන් මඟහරවා ගනිමින් නියමිත වේලාවට විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට වගබලා ගන්නා ලෙසත්, විභාග නීති රීතිවලට අනුකූලව කටයුතු කරන ලෙසත් විභාග කොමසාරිස්වරිය මෙහිදී වැඩිදුරටත් සිහිපත් කළාය.














