සංචාරක, නිෂ්පාදන සහ කෘෂිකාර්මික යන ක්ෂේත්‍රයන්හි උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති සඳහා වසර 10ක් දක්වා කාලයකට බදු සහන ලබාදීමට රජය තීරණය කර තිබේ. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම සහ නව රැකියා අවස්ථා උත්පාදනය කිරීම මෙම නව ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණයි.
මෙම බදු සහන ලබාගැනීම සඳහා ආයෝජනය කළ යුතු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 50ත් 300ත් අතර පරාසයක පැවතිය යුතු අතර, අවම වශයෙන් දේශීය රැකියා අවස්ථා 50ක්වත් නිර්මාණය කිරීම අනිවාර්ය කොන්දේසියකි. ව්‍යාපෘතියේ ස්වභාවය සහ පරිමාණය අනුව වසර පහේ සිට දහය දක්වා කාලයකට ආයතනික ආදායම් බදු නිදහස් කිරීම් හිමිවේ. මීට අමතරව, අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධන භාණ්ඩ සහ ඉදිකිරීම් ද්‍රව්‍ය ආනයනය කිරීමේදී ද මෙම බදු සහන අදාළ වන බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.














