ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) ඉතිහාසයේ ප්‍රථම වතාවට, දේශපාලන හිතවත්කම්වලින් තොරව සුදුසුකම් හා පළපුරුද්ද මත පදනම් වූ විධිමත් සේවක අන්තර්ග්‍රහණ ක්‍රියාවලියක් අද (16) සිට ආරම්භ කර තිබේ. සභාපති තනතුර හැර ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු සියලුම ශ්‍රේණි සඳහා මෙම නව ක්‍රමවේදය බලපැවැත්වේ. දශක ගණනාවක් පුරා පැවති අවිධිමත් බඳවා ගැනීම් සහ උසස්වීම් හේතුවෙන් ඇති වූ අකාර්යක්ෂම පරිපාලනය වෙනස් කර, ආයතනයේ ප්‍රගමනය උදෙසා මෙම තිරසර පියවර ගත් බව රජය පවසයි. ඒ අනුව අද සිට දින තුනක් පුරා දිවයිනේ සියලුම ප්‍රාදේශීය කාර්යාල හරහා ශ්‍රේණිගත කිරීම් සහ අන්තර්ග්‍රහණ කටයුතු විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට නියමිතය.














