ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙය පොතුවිල් සිට කිලෝමීටර් 930ක් පමණ දුරින් පවතින අතර, මෙහි බලපෑම නිසා මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 50-60ක වේගවත් සුළං සහ තද වැසි ඇති විය හැක. මේ හේතුවෙන් හෙට (17) සිට උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි තත්ත්වය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන් මධ්‍යම, ඌව, නැගෙනහිර පළාත් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
මුහුදු යාත්‍රා කරන ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු අතර, ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළංවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.














