නිව්සීලන්තයේ උතුරු දූපතට බලපා ඇති දැඩි වර්ෂාව සහ ප්‍රබල සුළං හේතුවෙන් අද (16) ගුවන් ගමන්, දුම්රිය සහ තොටුපළ සේවා රැසක් අඩාල වී තිබේ. පැයට කිලෝමීටර් 190 ඉක්මවූ වේගවත් සුළං හේතුවෙන් විදුලි රැහැන් මතට ගස් කඩා වැටීමෙන් නිවාස 30,000කට අධික සංඛ්‍යාවකට විදුලිය ඇනහිට ඇති අතර, ඉන් 10,000ක්ම අගනුවර වන වෙලින්ටන් නගරයෙන් වාර්තා වේ. අධික වර්ෂාව නිසා මාර්ග ජලයෙන් යටවීම සහ නායයෑම් හේතුවෙන් ප්‍රධාන මාර්ග කිහිපයක් වසා දමා ඇති අතර, මනාවටු-වන්ගනුයි (Manawatu-Whanganui) ඇතුළු ප්‍රදේශ කිහිපයකට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇත. මේ අතර, සෙනසුරාදා දින ජලයෙන් යටවූ මෝටර් රථයක් තුළ තිබී පුද්ගල මළ සිරුරක් ද සොයාගෙන තිබේ.
වෙලින්ටන් නගරයේ මල අපද්‍රව්‍ය පිරිපහදු මධ්‍යස්ථානයක ඇති වූ දෝෂයක් හේතුවෙන් අපද්‍රව්‍ය මුහුදට මුදා හැරීම නිසා දකුණු වෙරළ තීරයේ දැඩි පාරිසරික ගැටලුවක් උද්ගත වී ඇති අතර, ප්‍රදේශවාසීන් මෙය සමාජ මාධ්‍ය ඔස්සේ “පූනාමි” (poonami) ලෙස හඳුන්වනු ලබයි. කුණාටු තත්ත්වය හෙට (17) වන විට දකුණු දූපතේ නැගෙනහිර වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ අංශ අනාවැකි පළ කරන අතර, තවදුරටත් අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් ජනතාවට උපදෙස් දී තිබේ.














