ඉරානය සහ එක්සත් ජනපදය අතර හෙට (17) ජිනීවාහිදී පැවැත්වීමට නියමිත තීරණාත්මක දෙවන වටයේ න්‍යෂ්ටික සාකච්ඡාවලට පෙර, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සහ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) ප්‍රධානී රෆායෙල් ග්‍රොසි අතර අද (16) විශේෂ හමුවක් පැවැත්විණි. මෙහිදී දෙපාර්ශ්වය අතර ඉතා ගැඹුරු තාක්ෂණික සාකච්ඡා සිදුවූ බව වාර්තා වේ. සාධාරණ එකඟතාවකට පැමිණීමට ඉරානය සූදානම් බවත්, එහෙත් තර්ජන හමුවේ හිස නොනමන බවත් අරග්චි මහතා අවධාරණය කළේය. පසුගිය ජූනි මාසයේ ඇති වූ දින 12ක යුදමය තත්ත්වය තුළ හානියට පත් වූ ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන පරීක්ෂා කිරීම සඳහා අවසර ලබා ගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කලාපයට දෙවන ගුවන් යානා ප්‍රවාහන නෞකාව ද යොමු කරමින් යුදමය පීඩනය ඉහළ නංවා ඇති පසුබිමක මෙම සාකච්ඡා පැවැත්වේ. හෙට පැවැත්වෙන වටය සඳහා ඇමරිකාව නියෝජනය කරමින් ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් සහභාගී වීමට නියමිතය. යුරේනියම් සාරවත් කිරීම සීමා කිරීම සහ මිසයිල වැඩසටහන් පිළිබඳව දෙපාර්ශ්වය අතර පවතින මතභේද විසඳා ගැනීම මෙම සාකච්ඡාවල ප්‍රධාන අරමුණයි.














