න්‍යෂ්ටික බලශක්තිය ඕනෑම හදිසි අවස්ථාවකදී කඩිනමින් ස්ථාපනය කළ හැකි බව ලොවට පෙන්වීම සඳහා ඇමරිකානු බලශක්ති සහ ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව ප්‍රථම වරට ගුවන් මගින් න්‍යෂ්ටික ක්ෂුද්‍ර ප්‍රතික්‍රියාකාරකයක් (Nuclear Microreactor) ප්‍රවාහනය කර තිබේ. ‘වැලාර් ඇටොමික්ස්’ (Valar Atomics) සමාගම නිපදවූ මෙම ‘වෝඩ්’ (Ward) වර්ගයේ ප්‍රතික්‍රියාකාරකය කැලිෆෝනියාවේ සිට යුටා ප්‍රාන්තය දක්වා සී-17 (C-17) වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් ගෙන ගිය අතර එම අවස්ථාවට බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් ද සහභාගී විය. යුද බිමේදී හමුදාවන්ට අවශ්‍ය බලශක්තිය සැපයීමට මෙන්ම සිවිල් අවශ්‍යතා සඳහා ද මෙය ඉතා වැදගත් ඉදිරි පියවරක් වනු ඇතැයි බලධාරීහු පවසති.
මිනිවෑන් රථයකට වඩා මඳක් විශාල මෙම ක්ෂුද්‍ර ප්‍රතික්‍රියාකාරකය මගින් නිවාස 5,000කට අවශ්‍ය විදුලිය සැපයිය හැකි මෙගාවොට් 5ක උපරිම ධාරිතාවක් උත්පාදනය කළ හැක. ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ජාතික ආරක්ෂාව සහ කෘතිම බුද්ධි (AI) ක්ෂේත්‍රයේ බලශක්ති අවශ්‍යතා සපුරාලීමට න්‍යෂ්ටික බලශක්තිය ව්‍යාප්ත කිරීමට ගෙන ඇති තීරණයේ කොටසක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත්, මෙමගින් නිපදවන විදුලිය සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීම සහ න්‍යෂ්ටික අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව විද්‍යාඥයන් අතර තවමත් විවාදාත්මක තත්ත්වයක් පවතී.














