2026 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටය අතිසාර්ථකව නිමා කරමින් ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 8කින් පරාජය කර අපරාජිතව සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව සිය කාණ්ඩයේ පෙරමුණ ගනිමින් මීළඟ වටයට පිවිසෙන්නේ ඉහළ මානසික මට්ටමකිනි. මෙම ජයග්‍රහණයේ නියමුවා වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක කැන්ගරු පන්දු යවන්නන් දණ ගස්වමින් පන්දු 52ක් තුළ නොදැවී ලකුණු 100ක් රැස් කළේය. මෙය මෙවර ලෝක කුසලානයේ වාර්තා වූ ප්‍රථම ශතකය වන අතර අයර්ලන්ත නායක ලෝර්කන් ටකර් ලකුණු 94ක් ලබා තබා තිබූ මෙවර තරගාවලියේ ඉහළම ලකුණු සංඛ්‍යාව ද පැතුම් විසින් මෙහිදී අභිබවා යන ලදී.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 181ක් රැස් කළ අතර එහිදී ට්‍රැවිස් හෙඩ් ලකුණු 56ක් සහ නායක මිචෙල් මාෂ් ලකුණු 54ක් ලබා ගත්හ. පන්දු යැවීමේදී දක්ෂ දස්කම් පෑ දුෂාන් හේමන්ත ලකුණු 26කට කඩුලු 3ක් දවාගත් අතර දුෂ්මන්ත චමීර කඩුලු 2ක් බිඳ හෙලීය. ලකුණු 182ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්ගේ සබඳතාවය ජයග්‍රහණය සඳහා ස්ථිර පදනමක් දැමූ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 51ක් රැස් කරමින් පැතුම්ට අනගි සහයක් ලබා දුන්නේය. පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 184ක් රැස් කළ ශ්‍රී ලංකාව අපරාජිතව ඉදිරියට පැමිණීම මෙවර ලෝක කුසලානය දිනා ගැනීමේ ප්‍රධාන බලාපොරොත්තුවක් ලෙස ක්‍රිකට් විචාරකයෝ හඳුන්වති.














