ලොව පුරා වෙසෙන බිලියන සංඛ්‍යාත ජනතාවක් මහත් හරසරින් සමරන සංස්කෘතික මංගල්‍යය හෙවත් චීන අලුත් අවුරුද්ද “වසන්ත උත්සවය” ලෙස ද හඳුන්වනු ලබයි. චීන චන්ද්‍ර දින දසුන මත පදනම්ව සෑම වසරකම ජනවාරි සහ පෙබරවාරි අතර කාලයේ යෙදෙන මෙම උත්සවය නව වසරේ උදාවත් සමඟ සෞභාග්‍යය සහ වාසනාව ප්‍රාර්ථනා කරන සති දෙකක දීර්ඝ සැමරුමකි. චීන දින දසුනේ සත්ත්ව සංකේත දොළහක් පවතින අතර දෙදහස් විසිහය වසරේ විශේෂත්වය වන්නේ එය අශ්වයාගේ වසර ලෙස නම් කර තිබීමයි. චීන ජ්‍යොතිෂයට අනුව අශ්වයා ශක්තිය, වේගය සහ ස්වාධීනත්වය සංකේතවත් කරන අතර මෙම වසරේ උපදින දරුවන් මෙන්ම අශ්වයාගේ සංකේතයට හිමිකම් කියන පුද්ගලයින් නිර්මාණශීලී සහ උද්යෝගිමත් පිරිසක් ලෙස සැලකේ.
චීන අලුත් අවුරුද්දේ ප්‍රධානතම ලක්ෂණය වන්නේ රතු වර්ණයේ ආධිපත්‍යයයි. රතු වර්ණයෙන් නපුරු ආත්ම පලවා හැර වාසනාව උදා කරන බව චීන ජාතිකයන් විශ්වාස කරන බැවින් නිවාස සහ වීදි රතු පහන් කූඩුවලින් අලංකාර කෙරේ. අලුත් අවුරුදු සමයේ වැඩිහිටියන් විසින් දරුවන්ට සහ තරුණ පිරිස් වෙත මුදල් බහාලූ රතු ලියුම් කවර ලබා දීම අනිවාර්ය සිරිතක් වන අතර එය ඔවුන් හඳුන්වන්නේ “හොන්ග්බාඕ” යන නමිනි. අලුත් අවුරුදු උදාවට පෙර දින රාත්‍රියේ පවුලේ සාමාජිකයන් කොතැනක සිටියත් තම මහගෙදරට පැමිණ එකට ආහාර ගැනීම සිදු කරන අතර එහිදී පිළියෙළ කරන මාළු සහ ඩුම්ප්ලින්ග්ස් වැනි ආහාර සෞභාග්‍යයේ සංකේත ලෙස සලකනු ලබයි.
වීදි පුරා දිවෙන මකර සහ සිංහ නැටුම් මෙන්ම රාත්‍රී අහස වර්ණවත් කරන දැවැන්ත ගිනිකෙළි සංදර්ශන මෙම උත්සවයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස සැලකේ. මකරා වාසනාවේ සංකේතය වන අතර රතිඤ්ඤා සහ ගිනිකෙළි මගින් ඇති කරන ශබ්දය අසුභ ශක්තීන් දුරු කරන බව චීන ජනප්‍රවාදවල සඳහන් වේ. චීන අලුත් අවුරුද්ද යනු හුදෙක් උත්සවයක් පමණක් නොව පවුලේ බැඳීම් අලුත් කරන, පැරණි අමනාපකම් අමතක කරන සහ අනාගතය පිළිබඳ සුබවාදී බලාපොරොත්තු ඇති කරගන්නා වූ ඉතා වටිනා සංස්කෘතික අවස්ථාවකි.














