අමෙරිකා එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් (Rhode Island) ප්‍රාන්තයේ පැවැති උසස් පාසල් පිරිමි හොකී තරඟයක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ක්‍රීඩාංගණය තුළ සිටි පිරිස් දැඩි භීතියට පත් කරමින් එල්ල වූ මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පොලිස් විමර්ශනවලට අනුව මෙය පවුල් ආරවුලක් මුල් කරගනිමින් සිදුකළ “ඉලක්කගත” ප්‍රහාරයක් බවට සැක කෙරේ. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ද ප්‍රහාරයෙන් අනතුරුව තමාටම වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. තරගය නැරඹීමට පැමිණ සිටි සිසුන් සහ දෙමාපියන් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල නොවුණත්, ක්‍රීඩා පිටියක් වැනි ප්‍රසිද්ධ ස්ථානයක මෙවැනි සිදුවීමක් වාර්තා වීම සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශවල දැඩි අවධානය යොමුව ඇත.














