තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායම අද (17) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් හමුවීමට නියමිතය. මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් වන්නේ පසුගියදා බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ හානිය නිරීක්ෂණය කිරීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සඳහා ලබාදිය හැකි සහාය පිළිබඳ සාකච්ඡා කිරීමයි.
අද පෙරවරුවේ ගම්පොළ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව, කොළඹදී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත. ආපදා තත්ත්වයෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සහ මෙරට ජනතාව වෙනුවෙන් ස්ථාවර අනාගතයක් ගොඩනැඟීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරෙනු ඇත.
‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම සෘජුව නිරීක්ෂණය කිරීම හරහා ශ්‍රී ලංකාවේ ඉදිරි මූල්‍ය සහ සහන වැඩපිළිවෙළවල් වඩාත් ශක්තිමත් කිරීමට මෙම සංචාරය මහඟු පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














