කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ අංක 943 දරන රාත්‍රී තැපැල් දුම්රිය, අද (17) අලුයම කිතුල්උතුව ප්‍රදේශයේදී වනඅලියෙකුගේ ගැටීමෙන් ප්‍රබල අනතුරකට ලක්ව තිබේ. දුම්රිය මාර්ගයේ 151 කණුව අසලදී සිදු වූ මෙම ගැටීමෙන් වනඅලියා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, දුම්රිය එන්ජිම පීලි පැනීමට ලක්වීමෙන් දුම්රිය ගමනාගමනයට ද බාධා එල්ල වී ඇත.
වනජීවී නිලධාරීන් පවසන පරිදි, මියගිය සත්ත්වයා වයස අවුරුදු 15ක පමණ, අඩි 7ක් පමණ උසැති වනඅලියෙකි. කවුඩුල්ල රක්ෂිතයේ සිට සෝමාවතිය රක්ෂිතය වෙත දුම්රිය මාර්ගය හරහා මාරු වීමට උත්සාහ කිරීමේදී මෙම අවාසනාවන්ත අනතුර සිදුව තිබේ. දුම්රිය එන්ජිමේ ගැටුණු වනඅලියාගේ පාදයේ කොටස් එන්ජිමේ සිරවීම හේතුවෙන් දුම්රිය පීලි පැනීමට ලක්ව ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය විය.
මෙම අනතුර හේතුවෙන් මඩකලපුව සහ ත්‍රිකුණාමලය මාර්ගයේ දුම්රිය ධාවනයට තාවකාලිකව බාධා පැමිණ ඇති අතර, පීලි පැනීමට ලක්වූ දුම්රිය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා දුම්රිය බලධාරීන් කටයුතු කරමින් සිටියි. වනඅලියාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට වනජීවී නිලධාරීන් පියවර ගෙන ඇත.














