ජපානයේ ආර්ථික, වෙළඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ (METI) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද (17) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. මෙම හමුවේදී දෙරට අතර ආර්ථික සහයෝගිතාව ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකා – ජපාන අපනයන කර්මාන්ත කොරිඩෝව (Export-Industrial Corridor) පිහිටුවීමේ සැලසුම් ඉදිරියට ගෙනයාම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
පසුගිය සැප්තැම්බර් මාසයේදී ජනාධිපතිවරයා ජපානයේ සිදුකළ නිල සංචාරයේදී අත්සන් තැබූ සහයෝගිතා ගිවිසුමකට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ. මෙම යෝජිත කොරිඩෝව හරහා ඉන්දීය වෙළඳපොළ ඇතුළු ගෝලීය අපනයන වෙළඳපොළ ඉලක්ක කරගත් ජපන් නිෂ්පාදන ආයෝජන ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂිතය. දශකයකට පමණ පසු ජපාන රජය සහ ව්‍යාපාරික ප්‍රජාව ශ්‍රී ලංකාව කෙරෙහි යළිත් දැඩි උනන්දුවක් දක්වා ඇති අතර, මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාව කලාපීය නිෂ්පාදන සහ අපනයන මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමට හැකි වනු ඇතැයි දෙපාර්ශ්වයම විශ්වාසය පළ කළහ.
මෙම අවස්ථාවට ජපානයේ ආර්ථික, වෙළඳ හා කර්මාන්ත පිළිබඳ උප අමාත්‍ය තකෙහිකෝ මත්සුවෝ (Takehiko Matsuo), ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිඕ ඉසොමතා (Akio Isomata) සහ ජපාන – ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගිතා කමිටුවේ සභාපති ෆුමිහිකෝ කොබයාෂි (Fumihiko Kobayashi) ඇතුළු පිරිසක් සහභාගී වූහ. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ජනාධිපති ජ්‍යේෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව සහ වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරරාජා ඇතුළු නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.














