එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මෙන්ම අධිකරණ ලේකම් ඩේවිඩ් ලැමී (David Lammy) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර නිල හමුවක් අද (17) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ආර්ථික අර්බුදයෙන් සහ ‘ඩිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව ගොඩනැගෙමින් පවතින තීරණාත්මක අවස්ථාවක සිදුවූ මෙම සංචාරය, මෙරට යථා තත්ත්වයට පත්වීම පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කරන්නක් බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ රෙදිපිළි අපනයනය සඳහා බ්‍රිතාන්‍යය ලබා දුන් ‘ශුන්‍ය තීරුබදු’ (Zero-tariff) සහනය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ලබා දුන් සහයෝගය පිළිබඳව ජනාධිපතිවරයා සිය කෘතඥතාව පළ කළේය. එමෙන්ම සංචාරක සහ ආයෝජන ක්ෂේත්‍රයන්හි බ්‍රිතාන්‍යයේ දායකත්වය ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික ස්ථාවරත්වයට අතිශය වැදගත් වන බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාව සිදුකරන ආර්ථික සහ සමාජීය ප්‍රතිසංස්කරණ මෙන්ම ප්‍රතිසන්ධානය, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට ගන්නා පියවර පිළිබඳව බ්‍රිතාන්‍යය සතුටු වන බවයි. පශ්චාත් යුද ප්‍රතිසන්ධාන කටයුතු සහ ජනතාව කේන්ද්‍ර කරගත් සංවර්ධන වැඩසටහන් සඳහා බ්‍රිතාන්‍යයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවටද ඔහු සහතික විය.
මෙම අවස්ථාවට විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතා ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහ.














