රජය පිළිබඳව සිදුකළ මත විමසුම්වලින් ඉහළ ප්‍රතිශතයක් ලැබී ඇති බවට පවසමින් ආණ්ඩුව උද්දාමයට පත්ව සිටින්නේ නම්, වහාම පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (17) පාර්ලිමේන්තුවේදී අභියෝග කළේය. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම වැනි විවිධ උපක්‍රම සහ කමිටු මගින් ඡන්දය කල් නොදමා, රජයට 65%ක ජනතා කැමැත්තක් ඇත්නම් එය මැතිවරණයකදී පෙන්වන ලෙස විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, තමා තවදුරටත් මන්ත්‍රී විශ්‍රාම වැටුපක් තිබිය යුතු බව විශ්වාස කරන බවයි. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල මහජන නියෝජිතයන්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන්නේ අල්ලස හා දූෂණය අවම කිරීමට බවද ඔහු පෙන්වා දුන්නේය.
මීට අමතරව, වැඩිහිටි ඉතිරිකිරීම් සඳහා ලබා දුන් 15%ක පොළිය අහිමි කිරීම සහ 33%කින් විදුලි බිල අඩු කරන බවට පොරොන්දු වුවද දැන් 13.56%කින් විදුලි බිල වැඩි කිරීමට යෝජනා කිරීම පිළිබඳව රජය ‘සංවේදී ආණ්ඩුවක්’ දැයි ඔහු ප්‍රශ්න කළේය. ගාල්ල බූස්ස කඳවුරේ සිටින ආබාධිත රණවිරුවන් පනාගොඩට මාරු කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන්ද විපක්ෂ නායකවරයා සිය විරෝධය පළ කළේය.
පසුගිය මැතිවරණවලදී රජයට විශාල ඡන්ද සංඛ්‍යාවක් අහිමි වී ඇති බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා, කමිටු මුවාවෙන් පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් නොදමන ලෙස අවධාරණය කළේය.














