ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර අද (17) ‘ඩිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් දරුණු ලෙස පීඩාවට පත් උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාතුල ග්‍රාමයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූවාය.
මෙම ස්වාභාවික ව්‍යසනය හමුවේ නිවාස රැසක් විනාශ වී පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් හය දෙනෙකු අතුරුදන් වූ මාතුල ප්‍රදේශයේ ජනතාව හමුවූ ඇය, ඔවුන්ගේ ශෝකය බෙදාගනිමින් සිය කණගාටුව පළ කළාය. විපතට පත් ජනතාව සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් ඇය, ව්‍යසනකාරී අවස්ථාවක රජය ක්‍රියාත්මක කළ කඩිනම් සහන වැඩපිළිවෙළ පිළිබඳව සිය සතුට පළ කළ අතර, ජනතාව දැක්වූ ධෛර්යය සහ කැපවීම ද ඇගයීමට ලක් කළාය.
විශේෂයෙන්ම විපතට පත් පවුල්වල දරුවන් හමුවූ ජෝර්ජියේවා මහත්මිය, මෙම කුඩා දරුවන් හෙට දවසේ මෙරට ප්‍රගතිය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දෙනු ඇති බවත්, ඔවුන්ගේ අනාගතය සාර්ථක කර ගැනීම සඳහා රජය ළමා පරපුර සවිබල ගැන්වීමට කැපවිය යුතු බවත් අවධාරණය කළාය.
මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය මෙන්ම මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය චතුරේන්ද්‍ර ජයන්ත ප්‍රනාන්දු, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සමිත් අබේකෝන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














