හෝමාගම, මාගම්මන ප්‍රදේශයේදී අවුරුදු දෙකයි මාස හතරක් වයසැති කුඩා දැරියක මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී තීරණාත්මක කරුණු රැසක් අනාවරණය වී තිබේ. හෝමාගම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී පණීත සෙනෙවිරත්න මහතා විසින් සිදුකළ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ, දැරියට සිදුකළ කෲර වධ හිංසා අතරතුර හිස මොට පෘෂ්ඨයක ගැටීමෙන් මොළයට සිදුවූ බරපතල හානි මරණයට සෘජු හේතුව වී ඇති බවයි.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පරින්දි දිලන්යා නමැති දැරියකි. පොලිස් විමර්ශනවලට අනුව, දැරියගේ මව පවත්වාගෙන ගිය අනියම් සබඳතාවක් හේතුවෙන් නිවසට පැමිණි පුද්ගලයා සහ මව විසින් දරුවන්ට නිරන්තරයෙන් පහර දී තිබේ. මරණය සිදුවූ දිනට පෙර දින අලුයම ද මෙම පුද්ගලයා දැරියට දරුණු ලෙස පහර දී ඇති අතර, පසුව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කරන විටත් දැරිය මියගොස් සිටි බව වෛද්‍යවරුන් තහවුරු කර ඇත.
හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා විසින් නිකුත් කළ නියෝගයකට අනුව මෙම පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලදී. සිද්ධිය සම්බන්ධයෙන් මව සහ ඇයගේ අනියම් සහකරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර මත්තේගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














