2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයක් වන සිම්බාබ්වේ සහ අයර්ලන්තය අතර තරගයට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී මේ වන විට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වී තිබේ. අයහපත් කාලගුණය හේතුවෙන් කාසියේ වාසිය බැලීම පවා ප්‍රමාද වී ඇති අතර, මුළු ක්‍රීඩාංගනයම ආවරණය කර ඇති බව වාර්තා වේ.
B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව, මෙම තරගය වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවුවහොත් දෙපිලටම ප්‍රසාද ලකුණ බැගින් හිමි වේ. දැනටමත් ප්‍රසාද ලකුණු 4ක් ලබා සිටින සිම්බාබ්වේ කණ්ඩායම එම ලකුණත් සමඟ ලකුණු 5ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට පසුව දෙවැනි කණ්ඩායම ලෙස ‘සුපිරි 8’ දෙනාගේ වටයට සුදුසුකම් ලබනු ඇත.
මෙම තත්ත්වය ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට දැඩි බලපෑමක් එල්ල කරයි. දැනට තරග 3කදී ප්‍රසාද ලකුණු 2ක් පමණක් ලබා සිටින ඔස්ට්‍රේලියාවට සුපිරි 8 වටයට යාමට නම් මෙම තරගයෙන් සිම්බාබ්වේ පිල පරාජය විය යුතුමය. යම් හෙයකින් තරගය අතහැර දැමුවහොත්, ඔස්ට්‍රේලියාවට තම මීළඟ තරගය ජය ගත්තද උපරිම ලබාගත හැක්කේ ප්‍රසාද ලකුණු 4ක් පමණක් බැවින් ඔවුන්ට මෙවර ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදුවනු ඇත.
සිම්බාබ්වේ කණ්ඩායම මෙවර තරගාවලියේදී ඔස්ට්‍රේලියාව ලකුණු 23කින් පරාජය කරමින් දැවැන්ත පෙරළියක් සිදුකළ අතර, වර්ෂාව ඔවුන්ගේ වාසනාවට පක්ෂව ක්‍රියා කළහොත් එය ඔස්ට්‍රේලියාව වැනි ප්‍රබල කණ්ඩායමක් මූලික වටයෙන්ම ඉවතට යන පළමු අවස්ථාවන්ගෙන් එකක් ලෙස ඉතිහාසයට එක්වනු ඇත.














