ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ අද (17) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වය කරා යන ගමනේදී මේ වන විට “බොහෝ දුරක් පැමිණ ඇති” බවයි.
සිය නිල ‘X’ (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කළේ, ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන මේ වන විටත් රටට සහ ජනතාවට සාධනීය ප්‍රතිලාභ ලබා දෙමින් පවතින බවයි. සැමට සමෘද්ධිය ගෙන දෙන, ශක්තිමත් සහ කල් පවතින ආර්ථික වර්ධනයක් සහතික කිරීම සඳහා දැනට පවතින ප්‍රතිසංස්කරණ මාවතේ අඛණ්ඩව රැඳී සිටීමේ තීරණාත්මක වැදගත්කම ද ඇය මෙහිදී අවධාරණය කළාය.
පෙබරවාරි 16 වනදා මෙරටට පැමිණි ජෝර්ජියේවා මහත්මිය අද දිනයේදී ‘ඩිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් පීඩාවට පත් උඩපලාත, මාතුල ප්‍රදේශයේ ද නිරීක්ෂණ චාරිකාවක නිරත වූවාය. එහිදී විපතට පත් ජනතාවගේ ඔරොත්තු දීමේ හැකියාව අගය කළ ඇය, ව්‍යසනය හමුවේ රජය දැක්වූ කඩිනම් ප්‍රතිචාරය ද ප්‍රශංසාවට ලක් කළාය. මෙම සංචාරය හරහා ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇති විශ්වාසය තවදුරටත් තහවුරු වී තිබේ.














