2027 වසරේ පැවැත්වීමට නියමිත මීළඟ ගෝලීය කෘත්‍රිම බුද්ධි (AI) සමුළුවේ සත්කාරකත්වය ස්විට්සර්ලන්තයට හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ඒ පිළිබඳ නිල නිවේදනය හෙට (පෙබරවාරි 19) නිකුත් වීමට ඉඩ ඇති බව ස්විට්සර්ලන්ත රජයේ සන්නිවේදන කාර්යාල නිලධාරීහු ප්‍රකාශ කරති.
ස්විට්සර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) මීළඟ සමුළුවේ සත්කාරකත්වය ලබා ගැනීමට දැඩි තරඟයක නිරත වූ අතර, එහිදී ඇති කරගත් එකඟතාවකට අනුව 2028 වසරේ සමුළුව ඊශ්‍රායලය විසින් සංවිධානය කිරීමට නියමිතය. ස්විට්සර්ලන්ත නිලධාරියෙකු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් බොහෝ රටවලින් දැනටමත් ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇති බවයි.
සත්කාරක රටවල් තෝරා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය රජයේ නිලධාරියෙකු පවසා සිටියේ මෙය තරමක් අවිධිමත් ක්‍රියාවලියක් බවයි. ඔහු එය උපමාවකින් පැහැදිලි කරමින් පැවසුවේ, එය “බස් රථයක ආසනයක් වෙන් කර ගැනීමට ලේන්සුවක් දැමීම වැනි” ක්‍රියාවලියක් බවත්, පළමුව කැමැත්ත ප්‍රකාශ කරන රට අනෙකුත් රටවල් සමඟ සාකච්ඡා කර අවස්ථාව ලබා ගන්නා බවත්ය.
2025 වසරේ පැරිස් නුවර පැවති සමුළුවේදී ප්‍රංශය සමඟ ඉන්දියාව සම-සත්කාරකත්වය දැරූ නමුත්, 2026 වසරේ ඉන්දියාවේ පැවැත්වෙන මෙම වත්මන් සමුළුවේදී එවැනි සම-සත්කාරකත්ව ව්‍යුහයක් අනුගමනය කිරීමට ඉන්දියාව තීරණය කර නොමැත.














