ඉස්ලාමයේ අතිශය පූජනීය වස්තුවක් වන මක්කමෙහි කාබාව ආවරණය කරන ‘කිස්වා’ රෙදි කැබලි, අපකීර්තිමත් ලිංගික අපරාධකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටීන් වෙත යවා ඇති බවට ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ ලිපිගොනු මගින් හෙළිදරව් වී තිබේ. 2017 වසරේදී සෞදි අරාබියේ සිට එප්ස්ටීන්ගේ පෞද්ගලික දූපතක් වෙත මෙම නැව්ගත කිරීම සිදු කර ඇති බව පෙනෙන ඊමේල් පණිවුඩ සහ රේගු වාර්තා මෙම ලිපිගොනුවල අඩංගු වන අතර, මිලියන සංඛ්‍යාත බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ මෙවැනි වස්තුවක් අපරාධකරුවෙකු අතට පත්වීම සම්බන්ධයෙන් මුස්ලිම් ලෝකය පුරා දැඩි කෝපයක් හටගෙන ඇත. අධිකරණ වාර්තාවලට අනුව “අසීසා අල්-අහ්මඩි” නමැති ගිණුමකින් එප්ස්ටීන්ගේ කාර්ය මණ්ඩලය වෙත මෙම පූජනීය වස්තූන් යවා ඇති බවත්, එක් ඡායාරූපයක එප්ස්ටීන් එම රෙදි කැබැල්ලක් බිම තබා පරීක්ෂා කරන අයුරු දැක්වීම බැතිමතුන්ගේ දැඩි සංවේගයට හේතු වී තිබේ.
මෙම ලිපිගොනු මගින් එප්ස්ටීන් සහ සෞදි රජයේ ඉහළ නිලධාරීන් අතර පැවති රහසිගත සබඳතා ද වැඩිදුරටත් අනාවරණය වන අතර, විශේෂයෙන්ම රාජකීය මාලිගයේ උපදේශකයෙකු ලෙස හැඳින්වෙන පුද්ගලයන් හරහා එප්ස්ටීන් සෞදි අරාබියේ ආර්ථික තීරණවලට බලපෑම් කිරීමට උත්සාහ කර ඇති බව පෙනේ. සාමාන්‍යයෙන් කිස්වා රෙදි කොටස් තෑගි කරනු ලබන්නේ රාජ්‍ය නායකයන්ට සහ විශේෂ අමුත්තන්ට පමණක් වුවද, ළමා ලිංගික අපරාධකරුවෙකු ලෙස හංවඩු ගැසුණු පුද්ගලයෙකුට මේවා ලැබුණේ කෙසේද යන්න පිළිබඳව සෞදි බලධාරීන්ගෙන් විධිමත් පරීක්ෂණයක් මුස්ලිම් ප්‍රජාව ඉල්ලා සිටී. එප්ස්ටීන්ගේ දූපතේ “මුස්ලිම් පල්ලියක්” ලෙස හැඳින්වූ ගොඩනැගිල්ලක් තිබූ බවටත්, එහි මෙම වස්තූන් තැන්පත් කිරීමට සැලසුම් කර තිබූ බවටත් එම ඊමේල් ලිපි හුවමාරුවලින් වැඩිදුරටත් ඉඟි පළ වේ.














